ලෝකය පුරාම පිළිගත් ආකාරයට මුල් ළමා විය ලෙස හඳුන්වන්නේ දරුවෙකු මව්කුස තුළ පිළිසඳ ගත් මොහොතේ පටන් දරුවාට වයස අවුරුදු අටවන තෙක් දිවෙන කාලයයි. මුල් ළමා වියට අදාළ කාලය, ඒ ඒ රට අනුව වෙනස් විය හැකිය. ශ්‍රී ලංකාවේ මුල් ළමා විය ලෙසට ගැනෙන්නේ දරුවා මව්කුස පිළිසිඳ ගත් දා සිට දරුවාට වයස අවුරුදු 5 වෙන තෙක් කාලයයි. මානව ජීවිතයේ පසුකරන විවිධ කාලයන් අතරින් වඩාත්ම වැදගත් කාලය ලෙස මෙම මුල් ළමා විය හඳුන්වා දිය හැකිය. මෙම කාලය තුළ දරුවා සෑම අංශයකින්ම ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන අතර විශේෂයෙන්ම මොළයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වනු ලබන්නේ මෙම කාලය ඇතුළතයි. කලලයට සති තුනක් පමණ වන විටදී ඇරඹෙන මොළයේ වර්ධන ක්‍රියාවලිය, පළමු අවුරුදු තුන ඇතුළතදී ප්‍රමාණාත්මකව සියයට අසුවක් දක්වා වර්ධනය වන අතර, දරුවාට වයස අවුරුදු පහ සම්පූර්ණ වන විටදී සියයට අනූවක් දක්වා වර්ධනය වී අවසන් වේ.
එපමණක් නොව දරුවෙක් ඉපදී ගතවන පළමු දින 1000ක කාලය තුළදී (ආසන්න වශයෙන් පළමු අවුරුදු තුන ඇතුළතදී) දරුවාගේ මොළය තුළ, සෑම තත්පරයක් පාසාම මිලියනයකටත් වැඩි නව ස්නායු සම්බන්ධතා ගොඩනැගෙයි. ඉපදුණු මොහොතේ සිට දරුවා ලබන අත්දැකීම්, දෙමාපියන් සහ වැඩිහිටියන් සමග ඇති සම්බන්ධතා, තම වටපිටාවෙන් ලැබෙන විවිධාකාරයේ සංවේදනයන් හරහා මෙම ස්නායු සම්බන්ධතා ගොඩනැගෙයි. මොලේ විවිධ කොටස්, විවිධ කාර්යයන් සඳහා උදව් වන අතර, මෙම කොටස් සම්බන්ධ කරමින් නව ස්නායු සම්බන්ධතා ගොඩනැගෙයි. ඇවිදීමේ සිට, ආහාර ගැනීම, සෙල්ලම් කිරීම, කතා කිරීම ඇතුළු සියලුම මානව ක්‍රියාවලියන් නිසියාකාරව සිදුවන්නේ මේ ගොඩනැගෙන ස්නායු සම්බන්ධතා නිසාවෙනි.
දරුවාට ලැබෙන ධනාත්මක හෝ සෘණාත්මක අත්දැකීම් නැවත නැවතත් ලැබෙද්දී මොළයේ ගොඩනැගෙන ස්නායු සම්බන්ධතා ශක්තිමත් වන අතර, වරක් දෙකක් හෝ කලාතුරකින් ලැබෙනා අත්දැකීම් උඩ ගොඩනැගුණු ස්නායු සම්බන්ධතා නැති වී යයි. මෙය හරියට නිතරම භාවිතා කරන පිහියක් මුවහත්ව තිබෙන්නත් භාවිතා නොකර පැත්තකට දැමූ පිහියක් මල බඳින්නාහාත් සමානය.
මෙම ක්‍රියාවලිය පිටින් සිට බලන විට නොපෙනුනත්, දරුවෙකුගේ අනාගතය තීරණය වන්නේ මේ ස්නායු සම්බන්ධතා ශක්තිමත්ව ගොඩනැගෙන ආකාරය අනුවය.
දරුවෙකුගේ මුල් ළමා වියේ සංවර්ධනය අංශ හතරක් ඔස්සේ සිදුවෙයි. එනම්;
- කායික සංවර්ධනය
- භාෂා සංවර්ධනය
- සමාජයීය සහ චිත්තාවේග ආශ්‍රිත සංවර්ධනය
- බුද්ධිමය සංවර්ධනය වශයෙන්ය.
මෙම අංශ හතරටම අදාල සංවර්ධනය ඇරඹෙන්නේ දරුවා මව්කුස තුළ සිටින අවස්ථාවේදී සිටමය. දරුවාට ලැබෙන පෝෂණය අනුව කායික වර්ධනය සිදුවන අතරම, දරුවා මව්කුස තුළ සිටින විටදී අප දරුවාත් සමග කතාබහ කරන ආකාරය අනුව දරුවාගේ භාෂා සංවර්ධනය ආරම්භවේ. උපතේ සිට පළවෙනි වසර සම්පූර්ණ වන විට දරුවෙක් තනිවම නැගිට සිට ගැනීම, ඇවිදීම ආරම්භ කිරීම, තේරුමක් සහිත වචන පහක්වත් කතා කිරීම වැනි සංවර්ධනීය මංසන්ධි පසු කරන අතර, ඉපදුණු මොහොතේ සිට දරුවාගේ බුද්ධි වර්ධනයත් ඊට සමගාමීවම සිද්ධ වේ.
දරුවා තම ඇස, කණ, නාසය, දිව සහ සම යන පංචේන්ද්‍රියන් හරහා සංවේදන ලබා ගනිමින්, තම වටපිටාව සමග සම්බන්ධ වෙමින්, අත්දැකීම් ලබමින්, විවිධ කුසලතා සංවර්ධනය කර ගනී. තම වටපිටාව සමඟ දරුවාට සම්බන්ධ වීමට ලැබෙන අවස්ථා ප්‍රමාණය අනූවත්, තමන්ට සමීප වැඩිහිටියන්ගෙන් ලැබෙන ආකල්ප සහ සංකල්ප ප්‍රමාණ අනූවත්, දරුවාගේ බුද්ධි වර්ධනය, භාෂාවර්ධනය, සමාජ සහ චිත්තා වේගයන්හි සංවර්ධනය සිදුවෙයි.
දරුවාට ධනාත්මක සහ ගුණාත්මක බවින් වැඩි අත්දැකීම් සහ අවස්ථාවන් ලැබෙයි නම්, දරුවාගේ කුසලතාවයන් ඒ අනුව වර්ධනය වන අතර, අනාගතයේ ශක්තිමත් පෞරුෂයකින් හෙබි බුද්ධිමත්, යහපත් සමාජ සම්බන්ධතා සහ කුසලතා ඇති, තම චිත්තාවේගයන් පාලනය කර ගැනීමට හැකි පුද්ගලයෙක් අනාගතයේදී සමාජයට එකතු වෙනු ඇත.
දරුවාට ලැබෙන්නේ සෘණාත්මක අත්දැකීම් නම්, තම වටපිටාව සමග සම්බන්ධ වීමටත් කුසලතා වර්ධනය කර ගැනීමටත් ලැබෙන අවස්ථාවන් සීමිතයි නම්, පෞරුෂයේ විවිධාකාර ගැටලු සහිත, කුසලතාවයන් අඩු පුද්ගලයෙක් අනාගතයේදී සමාජයට එකතු වනු ඇත.
ඉපදුණු මොහොතේ සිට වයස අවුරුදු අටක් යන තෙක් දරුවෙකුට මෙම අත්දැකීම් ලබාගැනීමටත් අවස්ථාවන් ලබා ගැනීමටත් දෙමව්පියන්ගේ සහ වැඩිහිටියන්ගේ උදව් උපකාර අවශ්‍ය වේ. දරුවෙක් මුලින්ම ම වටපිටාව සමග සම්බන්ධ වන්නේ තමන්ට සමීප දෙමාපියන් සහ වැඩිහිටියන් සමග සම්බන්ධ වෙමිනි. එතැන් සිට අතට අහුවෙන ඕනෑම දෙයක් අල්ලා ගනිමින්ද එය කටට දමා ගනිමින්ද විවිධාකාරයේ සංවේදන හරහා වටපිටාව සමග සම්බන්ධ වෙමින්ද දරුවා ඉගෙන ගැනීම ආරම්භ කරයි. දරුවාට ලබා දෙන විවිධාකාර සෙල්ලම් බඩු හරහාත්, දරුවාට පරිසරය සමඟ සම්බන්ධ වීමට ලැබෙන අවස්ථාත් සමඟ දරුවාගේ චාලක හැකියාවන්, සංකල්ප, චින්තනය, නිර්මාණශීලී භාවය, තමා වටා ඇති අවකාශය පිළිබඳ අවබෝධය, ගැටලු විසඳීමේ හැකියාව, ආදී විවිධ කුසලතාවයන් සංවර්ධනය වීම පටන් ගනී.
ඉතාම සරල සෙල්ලම් කිරීමේ මෙවලමක් හරහා දරුවාගේ මුල් ළමා වියේ සංවර්ධනය සිදුවන ආකාරය විමසා බලමු.
පළමු වරට බිල්ඩින් බ්ලොක් කැබැල්ලක් අතින් අල්ලා ගන්නා දරුවා, ඒ හරහා ලැබෙන සංවේදනයන් නිසා යමක් ග්‍රහණය කර ගැනීමට ඉගෙන ගනී. පියවරෙන් පියවර පාට, හැඩතල, ප්‍රමාණ වැනි සංකල්පත්, බ්ලොක් කැබලි දෙකක් හෝ කිහිපයක් එකිනෙක මත තබමින් විවිධ නිර්මාණ කිරීමටත්, එම නිර්මාණයන්ට විවිධාකාරයේ නම් තබමින් කතන්දර කීමටත්, නිර්මාණය කරන කාලය පුරාවටම අවධානය රඳවා ගැනීමටත්, බ්ලොක් කැබැල්ලක් හෝ දෙකක් ගැලවී ගියහොත් ඉවසීමෙන් එය නැවත සවිකිරීමටත් තම දෙමාපියන් හෝ සහෝදරයින් සමග බ්ලොක් කැබලි බෙදා ගැනීමටත් දරුවා හුරුවේ.
අප, දෙමව්පියන් සහ වැඩිහිටියන් ලෙස බොහෝවිට උනන්දු වන්නේ දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් සහ දරුවාගේ නිසි බර සහ උස පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ය. නමුත් දරුවාගේ කායික වර්ධනය පමණක් නොව, දරුවාගේ අනෙකුත් සෑම අංශයකම සංවර්ධනය පිලිඳව උනන්දු වීම ඉතාම වැදගත් වේ.
පුංචි බීජයක් ශක්තිමත් මුලක් සහිත රූස්ස ගසක් බවට පත්වෙන්නේ, වර්ධනය සඳහා අවශ්‍ය සියලූම සාධක ලැබුණොත් පමණි. වතුර පමණක් ලැබුණොත් හෝ හිරු එළිය පමණක් ලැබුණොත් පුංචි බීජයකින් ගසක් බිහි වන්නේ නැත. පුංචි දරුවනුත් හරියට මේ බීජය වැනිය. දරුවාගේ ජීවිතයේ පළවෙනි අවුරුදු කිහිපය තුළ ලැබෙන අත්දැකීම්, ආකල්ප, සහ අවස්ථාවන්, දරුවාගේ අනාගත අධ්‍යාපනය, රැකියාව පෞරුෂත්වය තීරණය කරනු ලබයි.
කායිකව සහ මානසිකව නිරෝගී යහපත් පුද්ගලයෙක් කියන්නෙම සමාජයටත්, රටකටත්, රටේ ආර්ථිකයටත් ආභරණයකි. එම පුද්ගලයා අද දවසේ පුංචි දරුවෙකු ලෙසින්, ඔබගේ සෙවනේ රැකවරණය ලබමින් සිටි. එම දරුවාගේ අනාගතය තීරණය වන්නේ, අද ඔබ දරුවාගේ මුල් ළමා විය සංවර්ධනය සඳහා ලබා දෙන දායකත්වය මතයි. එම නිසා අපි වැඩිහිටියන් වශයෙන් දරුවන්ට ධනාත්මක අත්දැකීම් ලබාදීමටත්, තමා වටා ඇති පරිසරය සමග සම්බන්ධ වීමට අවශ්‍ය අවස්ථා ලබා දීමටත්, සෙල්ලම් කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දීමටත් උත්සාහ ගනිමු.